නිදහස් අධ්‍යාපනය ගැන අදහස් බිඳක්

6 Percenters

නිවේදනය: මා ත්‍රිතීය අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකිනි.

අප ඉගෙනගන්නා කාලයේ (මීට වසර 5කට පමණ පෙර) පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්‍ෂව වූ තර්ක නම්:

  1. උසස් පෙළ සමත් සෑම කෙනෙක් හටම රජයේ සරසවි වරම් ලැබෙන්නේ නැත. (2013 අධ්‍යයේන වර්ෂය තුළ, සුදුසුකම් ලත් සිසුන්ගෙන් බඳවාගෙන ඇත්තේ 16.5% ක් පමණි - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව)

  2. ධනවත් පවුල් වල දරුවන් විදේශ ගතව සරසවි අධ්‍යාපනය ලබනු ඇත.

  3. (මා වැනි) විදේශ ගතවීමට වත්කම් නැති අයට පිලිසරණට ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල පමණි.

  4. අන්තරය ජුගුප්සාජනකය.

තර්කය සරලය, නිගමනය ඍජුය: පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ට ඉඩ ලබා දෙනු.

කාලයාගේ ඇවෑමෙන් සියල්ල වෙනස් වේ. ලොව පුරා බොහෝ සිසුන් තම අධ්‍යාපනයට වැයවෙන මුදල පියවාගැනීමට නොහැකිව ශිෂ්‍ය ණය අර්බුද වලට මුහුණපාමින් සිටී. අධ්‍යාපනය වානිජකරණය සහ එහි ආදීනව ලෝකය පුරා කතාබහට ලක් වෙමින් ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිසුන් හට ලබාදිය යුතු අයිතියක් යැයි මතයක් සමාජගතව ඇත. මමද මෙය පිලිගනිමි. නමුත්:

  • උසස් පෙළ සමත් සෑම කෙනෙක් හටම මෙම අවස්ථාව ලබා දිය යුතුය. මෙය 100%කටම පොදු අවස්ථාවක් මිස 16.5%කට සීමාවූ දෙයක් නොවිය යුතුය. z-score කඩ ඉමෙන් දශමෙකිනුත් පංගුවකින් සරසවි වරම් අහිමි වූවන් අට පාස් ගණයට වට්ටන්නට වුවමනා නැත.

  • මෙසේ 6 ගුණයකින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සහ නඩත්තු කිරීම සඳහා දැවැන්ත පිරිවැයක් යෙදීමට සිදුවනු ඇත. මෙය ණය බරින් පීඩිත, ආදායම් බදු අයකරගැනීමෙහිලා දුර්වල ශ්‍රී ලංකාණ්ඩුව විසින් තනිවම කරනු ඇතැයි බලාපොරොත්තු වීම බොළඳ කමකි. රජය හා පෞද්ගලික අංශය හවුල් වී මෙම මෙහෙවර කිරීමට සිදුවනු ඇත.

  • අද රට තුළද, ජාත්‍යන්තරයේද අධ්‍යාපනය ඉතාමත් අධික වියදමකින් යුතු සේවාවකි. අපේ කන්නන්ගර නිදහස් අධ්‍යාපනයේ වැදගත්ම අංගය වූයේ අන්ත දිළිඳු, අසරණ සිසුවෙකුට පවා ඉගෙනගෙන දියුණුවීමට තිබූ අවස්ථාවයි. එම අවස්ථාව රැකගැනීම අප සැමගේ පරම යුතුකමයි.

  • යම් සේ තමන් සහ තම සහෝදරයන් ලබන්නාවූ අධ්‍යාපනය සඳහා ගෙවීමට වත්කම් ඇති සිසුන්හූද සිටිති. ඔවුන්ට හැකිසේ පද්ධතියට මූල්‍යමය ආධාර ලබා දිය හැකිය.

  • සිසු ණය පහසුකම් ලබා දෙන අවස්ථා වලදී නැවත ගෙවීමේ කාලය වසර 25ක් - 30ක් අතර විය යුතුය.

Yet despite this widespread borrowing, there is no student debt crisis in Sweden, because payments are spread out over 25 years. They also start out low, rising slowly over time. [...] In Germany, students pay their loans over 20 years; in England, it’s 30 years.

This makes sense. A core principle of finance is that the length of debt payments should align with the life of the asset. We pay for cars over five years and homes over 30 years because homes last a lot longer than cars. An education pays off over a lifetime, so it makes sense that student loans should be paid off over a long term.

මෙම ලිපිය කිසිසේත්ම මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කිරීමට පක්‍ෂපාතීව ලිවූවක් නොවේ. නමුත්, අවැසි සිසුන්ට හොඳ පොදු විශ්වවිද්‍යාල පද්ධතියකක් තෝරාගැනීමට හා එයට පිවිසීමේ අයිතිය තිබිය යුතුය.

වර්තමානයේ රජයේ විශ්වවිද්‍යාලය තුළ විවිධ අර්බුද ඇත. ආචාර්යව්රුන්ගේ සිට අනද්‍යයන කාර්ය මණ්ඩලය දක්වා වූ වැටුප් අර්බුද, වැඩවර්ජන, නවක වදය, නව සොයාගැනීම් හා පර්යේෂණ ප්‍රකාශනයට පත්කිරීමේ (research publications) ඇති දුර්වලතා, academic inbreeding හා මෙකී නොකී විවිධ ගණයේ ගැටළු සරසවි තුළ ඇත. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපය හා වෛද්‍ය සිසුන් එම වුවමනා ඉටු කරගැනීමේ අතකොලු බවට පත්කර ගැනීම සැබවින්ම පිළිකුල් සහගතයි.

නමුත්, මේ රටේ ජනතාව මෙම ප්‍රශ්ණය සිහිනුවනින් විමසා විසඳාගත යුතුය. රටේ ත්‍රිතීය අධ්‍යාපනය ඉදිරියේ ඇති අභියෝග සහ ඒවායේ මූල හේතූන් හඳුනාගෙන ඒවාට ප්‍රතිකර්ම කිරීම අවැසිය. පෞද්ගලික අංශයට මෙය තනිවම කිරීමට නොහැක.


Built using Pelican.